Saturday, 24 August 2024

Feelings 😊😁🥲🥹😒😡




මිනිස්සු කියන්නේ හැඟීම් දැනීම් වලින් පිරුණු පිරිසක්. සංවේදී එහෙමත් නැත්නම් අතිසංවේදී විදියට අපි අතර ලේබල් ගැහිච්ච මිනිස්සු විතරක් නෙවෙයි , පිටින් බැලුවාම ගස් ගල් වගේ රළුවට , නොසැලෙන විදියට පෙනෙන මිනිස්සු පවා හිත ඇතුළෙන් අනන්ත අප්‍රමාණ හැඟීම් දැනීම් නිසා වැළපෙනවා, විඳවනවා. 🥹🥲 

ඇත්තම කථාව නම් ජීවිතයේ වැඩියෙන්ම විඳවන්නේ , කිසිම දෙයක් ගනන් ගත්තේ නෑ , දැනෙන්නේ නෑ, රිදෙන්නේ නෑ වගේ පෙන්නගෙන ඕනවටත් වඩා වැඩියෙන් හිනාවෙලා , සතුටින් ඉන්න විත්තිය රටට ලෝකෙට පෙන්නන උදවිය. එහෙම අය අඬන්නේ හදවතින්. ඒ කඳුළු හරි බරයි. 🥺🥺

   



       

රළු, සිනිඳු පපුවල කප්පරක් වේදනා දරාගත්තු, හංගගත්තු අහිංසක හදවත් , නොනැවතී ගැහෙනකම්ම මිනිස්සු හැඟීම් දැනීම් එක්ක ගැටෙනවා. මේ කියන හැඟීම් , දැනීම් , බැඳීම් එක්ක පැටලිලා ජීවත් වෙන තරමක් මිනිස්සු ජීවිතේ විඳිනවටත් වැඩියෙන් විඳවනවා.🥹🥲 ඒකට හේතුව තමයි වේලාවකට අපි අපේ ජීවිත ඇතුළේ අනවශ්‍ය වගේම හානිකර හැඟීම් වලට වුවමනාවටත් වැඩියෙන් ඉඩදෙන එක. 🙁 අසීමිතව ආදරේ කරන්න, දයාව දක්වන්න අසීමිතව, මිනිසුන්ට කාරුණික වෙන්න සීමාවක් නැතුවම.😊 ඒ උනත් අසීමිතව වෛර කරන්න, ලෝභකම් කරන්න, ඊර්ෂ්‍යා කරන්න එපා.  ඒ වගේ හැඟීම් නැත්තටම නැතිකරලා දාන්න තරම් පෘථග්ජන මිනිස්සු වෙච්ච අපට පුලුවන්කමක් නැති බව ඇත්ත. එහෙත් අඩුමතරමේ තමන්ට වගේම අනුන්ට වේදනා දෙන හැඟීම් පාලනය කරගන්න නම් අපි කාටකාටත් ඕනෑකමක් තිබිය යුතුය. එහෙම නැති වුණොත් ජීවිතේ දුකක් මිසක් වෙන කිසිම දෙයක් ඉතුරු කරගන්න අපිට බැරිවෙයි.🥹🙁

           


 

  කොහොම උනත් මේ කියන්නෙ සියලු කෙලෙසුන් නසා රහත් වෙන්න කියලා නම් නෙවෙයි . ඒවා අපිට තව බොහෝ දුරයි. හිත දමනය කරලා මාර බන්ධනයෙන් මිදෙන්න කියලත් නෙවෙයි. අනිත් එක ඉතින් කාටද දැන්ම මාර බන්ධනයෙන් මිදෙන්න ඕනෙත් නේද? 🤔😉 අපේ භව තණ්හාව වැඩියිනේ.. සංසාරේ දුකයි දුකයි කිය කිය අපිට ඕනේ තව තවත් ඉපදි ඉපදි මැරෙන්න. මැරි මැරි ඉපදෙන්න 🥲 දැන්ම නිවෙන්න අපි අතරෙන් වැඩි දෙනෙක් කැමතිත් නෑ. ..

     ඒ කොහොම උනත් අපේ එදිනෙදා ජීවිතේ සැනසීම, සතුට වෙනුවෙන් නම් අපිට සිද්දවෙනවා , ස්වයං පාලනයක් ඇතිකරගන්න. ජීවිතේ අපිව ගොඩඑන්න බැරිතරමේ ආගාධවලට ඇදලා දාන, දරාගන්න බැරිතරමේ පසුතැවීම් ඇතිකරන එක හැඟීමක් තමයි "කේන්තිය ". 😡😠 ( තමාට හානි කරගත හැකි හොඳම ක්‍රමය , තරහ පාලනය නොකිරීමයි  - Giving vent to irrational anger would be equivalent to harming oneself)  වෙලාවකට අපි කේන්ති ගන්නේ බොහොම පුංචි වගේම තේරුමක් නැති දේවල්වලට. ඒ විදියට පුංචි පුංචි දේවල්වලට මහ ගොඩක් කේන්ති යන්නේ ජීවිතෙත් එක්ක ගැටිලා ගැටිලම හති වැටිලා ඉන්න අපේ හිත්වල තියෙන  ඔරොත්තු නොදෙන තරමේ මානසික පීඩනය නිසා . 🥹🥲 

           



  මෙලෝ වැදගැම්මකට නැති , පුංචිම පුංචි කාරණාවක් නිසා ඇතිවෙන සුළු ආරවුලක් උනත් , "ඇවිලෙන ගින්නට පිදුරු දාන්න වගේ" ම " රැවුල ගිනිගද්දී සුරුට්ටු පත්තු කරන්න බලාගෙන ඉන්න "  හීන්නූල් කාරයින්ට පින්සිද්ද වෙන්න ; ජාතිවාදී අරගල එහෙමත් නැත්නම් ලෝක යුද්ධයක් දක්වා උනත් උඩුදුවන්න බැරි නෑ.🙁😒 

        


   ඒ කාලේ අවිආයුධ නිර්මාණය කළේ යුද්ධ කරන්න, අද අවිආයුධ විකුණගන්න යුද්ධය නිර්මාණය කරන තරමට ලොකේ දරුණු වෙලා. 🥹 කවුරු කොහේ කොහොම මරාගත්තත් ඒකෙනුත් වාසි ලබන පිරිසක් අපි අතරම ඉන්නවා. ඒ නිසා කේන්ති ගන්න පමණට. අනවශ්‍ය විදියට කේන්ති ගත්තොත් අපේ ඒ කේන්තිය අවියක් කරගන්න බලාගෙන ඉන්න අය නවතින්නේ මහ විනාසයක් කරලයි. 🥲 

       



 එපා කාගෙවත් අතකොළුවක් වෙන්න. එපා කාටවත් ඔබව පාවිච්චි කරන්න දෙන්න. පමණ ඉක්මවා යන හැඟිම්වලට වැට බඳින්න.😊😊  සතුට ජීවිතයේ පූර්වාදර්ශය කරගන්න. සිනහව ඔබ සතු වත්කමයි 😊

" යහපත් හදවත සෑමවිටම යහපත ගෙනඑයි            Good hearts always beget good days " ❤️🌸




64 මායං 😉❤



ගෑනියෙක්ට මායං  64 ක් තියෙනවලු. වෙන්නත් ඇති. සමහරවිට ඊට වැඩියෙනුත් ඇති. නරකමත් නෑ නේද?😉😊 මායං දාන ඒකේ වැරැද්දකුත් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ මායං දාන්නේ කාටද කියන එකෙයි 🤔




නිකම් හිතලා බලන්න. කොටට හිරට ඇඳලා, ගස්සලා පද්දලා යන cat walk එක, පාට ගාපු තොල් අස්සෙන් දත් 32 ම පෙන්නලා දෙන ආදරේ හිතෙන මල් හිනාව, ඒ විතරක්ද ඇදලා පැදලා තාලෙට කියන හුරතල් වචන ... මේ හැමදෙයක්ම කා වෙනුවෙන්ද? හැමදාම වගේ කෝච්චියේදී, බස් එකේදී හම්බවෙන කිසිම නෑකමක්, බැඳීමක් නැති කොහෙවත් යන පිරිමි පරාණයක් වෙනුවෙන්ද ? 😒 එහෙම නැතුව ජීවිතේ හැම දුකක් කරදරයක්ම බෙදාගන්න පොරොන්දු දීලා එක වහළක් යටට වුණු හස්බන්ඩ් එක්ක ආදරෙන් හිනාවෙන්න උවමනාවක් තියේද? ඉස්සර වගේ තාමත් මං ඔයාට ආදරෙයි කියලා කියන්න, කවුරු නැතත් මං ඉන්නවා කියලා කියන්න හිතෙන්නෙ නැද්ද? සමහරවිට දැන් එයා කතා කරනකොටත් ඔයාට දිරවන්නේ නැතුව ඇති. ඇයි ඒ? එයා ඔයාට අයිති වෙලා ඉවර නිසා වෙන්න ඇති. එහෙම තමයි. ඕනෑම දෙයක් ගැන තද වුවමනාවක් වගේම වටිනාකමක් දැනෙන්නේ ඒ දේ තමන්ට අයිති කරගන්නකම් විතරයි. ආයෙත් ඒ වුවමනාව, ඒ වටිනාකම ඒ විදියටම දැනෙන්න නම් ඒ දේ නැතිවෙන්න ඕනි. එහෙම නැත්නම් නැතිවෙන්න ළංවෙන්න ඕනි. 😐🙁

        නමුත් එකදෙයක් , මොනවිදියකින් හරි ඔයාට එයාව මඟහැරුණොත් එයාව අල්ලගන්න ඕනිතරම් අය ඉඳීවි. ඔයාගෙන් නොලැබෙන ආදරේ, සැලකිල්ල ලබාදෙන්න ලෑස්ති අය මඟතොටේදී, බස් එකේදී, කෝච්චියේදී, වැඩපොළේදී ඕනෑතරම් මුණගැසේවි. ඔයාගේ වරදින් එයා පිටගියොත් කාටවත් දොස් කියලා නම් වැඩක් නැතිවෙයි. ඔයා හරි උනන්දුවෙන් පිට පිරිමියෙක් ඉස්සරහ  දන්න මායං ඔක්කොම දානකොට ,  හස්බන්ඩ් තවත් කෙනෙක්ගේ මායං වලට අහුවෙලා ඉන්න පුලුවන්. ඒකයි කියන්නෙ ගෑනියෙක් මායං දාන්න ඕනි රටේම ඉන්න මිනිස්සු දැලේ දාගන්න නෙවෙයි තමන්ගේ මනුස්සයව රැකගන්න 😊

    

              ජීවිතේ බොහොම දුක්මහන්සියෙන් , උනන්දුවෙන්, කැපවීමෙන් ළඟාකරගන්න ඕනි දේවල් , හරිම ලේසියෙන් ලබාගන්න පුලුවන් shortcut එකක් විදියට තමයි සමහරු මායං පාවිච්චි කරන්නේ. දේපළ, මිල මුදල් , ප්‍රසිද්ධිය වගේ ගොඩක් දේවල් ලබාගන්න හිතාගෙන, දන්න සෙල්ලං දාලා ලොකු අතු අල්ලගන්න උදවිය හිටි හැටියේ කඩන් වැටෙන්නේ හිතාගන්නවත් බැරි තරම් ඉක්මනට 🥲



          එක ගෑනියෙක් එළවළු මාළු ටිකක් වැඩිපුර ගන්න කඩේ මුදලාලියා ඉස්සරහ මායං දානවා. තවත් ගෑනියෙක් මනුස්සයා ගෙදර නැති වෙලාවට time pass කරගන්න අල්ලපු ගෙදර මිනිහට මායං දානවා ඇති.  තවත් ගැහැනියෙක් රස්සාවක් හොයාගන්න ගමේ හයිකාරයෙක් බලලා මායං දානවා, රස්සාවල් තියෙන ගැහැණු ලොකු ලොකු promotion ගන්න හිතාගෙන ලොක්කෝ ඉස්සරහ මායං දානවා 😒😐🙁  ගෑනු මායං අද ඒ තරමටම බාල්දුවෙලා. හැබැයි ඉතින් සීමාව පන්නලා මායං දාන්න ගිහින් නැති කරදරවල පැටලෙන්න උනාම නම් කරගත්තු ගොන්කම්වලට පිළියම් හොයන එකත් ලේසිවෙන්නේ නෑ. 🥲




           මේ මායං ගෑනු ඔබේ අනන්‍යතාවයේ සංකේතයක්. හැබැයි ඉතින් මායං තියෙන්නේ ගෑනු ළඟ විතරක් නම් නෙවෙයි. පිරිමින්ගේ මායං ගැන කවුරුවත් කතාකරන්නේ නැත්තේ තාම කාටවත් ඒවා ගැනගන්න බැරුව වෙන්න ඇති. 😉😁

       " කොහොම උනත් මායං නරක නෑ. හැබැයි හරි විදියට පාවිච්චි කරන්න ඕනි. හරි තැනදි, හරි වේලාවේ, හරි කෙනාට 😊 එහෙම නැතුව හැම තැනදිම, හැම වෙලාවෙම, හැම කෙනාටම දාන්න ගිහින් ගෑනු මායං බාල්දු කරගන්න එපා.☺️ "



             " මායමක් උනත් දාන්න ඕනි අපිට වටින කෙනෙක් වෙනුවෙන්. අපිට දැනෙන , අපි ආදරේ කරන අය වෙනුවෙන්. එහෙම නැතුව ආවට ගියාට හැමෝටම මායං දාන්න ගියොතින් නම් ඔයාගේ මායංවලට වටිනාකමක් නැතිවෙනවා විතරක් නෙවෙයි හැමෝගෙම ඇස් ඉස්සරහ ඔයාගේ quality එකත් නැතිවෙනවා. 🥲  "

ආධුනික ප්‍රවීණයෝ සහ ප්‍රවීණ ආධුනිකයෝ 🤔🤔




අපි හැමෝම මිනිසුන්ය. හැමකෙනෙක්ටම විවිධ ආකාරයේ හැකියාවන් තිබේ. "ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත" යැයි පවසන ලද්දේ අතීතයේදීය. අදවන විට එම කියමන වෙනස් වෙමින් පවතී. එක් දෙයකට නොව දක්ෂතා කිහිපයක් එහෙම නැත්නම් බහුවිධ හැකියාවන් (Multi talanted ) වලින් සමන්විත මිනිසුන් අපිට ඕනෑතරම් හමුවේ. නටන්න, සිංදු කියන්න, චිත්‍ර අඳින්න, පොත් ලියන්න, photos ගන්න, film නිර්මාණය කරන්න , රසට උයන්න , රූපලාවණ්‍ය කටයුතු, නව නිපැයුම් හදන්න මේකී නොකී තව බොහෝමයක් දේවල් කරන්න මිනිස්සුන්ට හැකියාව පවතී. ☺️ 

       ඇතැමෙක් තමා සතු හැකියාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබාගන්නා අතර ඇතැමෙක් තම හැකියාවන් අවතක්සේරු කරගනු ලබයි. තමන්ට එවැනි හැකියාවක් පවතී යැයි විශ්වාස නොකරයි. ඒසෙත් නැත්නම් තමන්ට එවැනි හැකියාවන් පවතින බව ඔවුන්ම නොදනී, එම හැකියාවන් තවමත් හඳුනා ගෙන නැත🤔. කෙසේවෙතත් කෙනෙක්  තමා සතු දක්ෂතාවයන්ගේ පරතෙරටම ළඟා වෙද්දී , තවත් අයෙක් තම හැකියාවන් වටහාගෙන එය වැඩිදියුණු කරගැනීමට පළමු පියවර තබනවා විය හැකිය. මේ අයුරින් කිසියම් විෂය ක්ෂේත්‍රයක තම හැකියාවන්ගෙන් පරතෙරට ළඟා වූ ඇත්තන් "ප්‍රවීණයන්" වන අතර පා තබන්නට සූදානම් වන්නවුන් "ආධුනිකයෝ" වෙති.☺ 

                      ප්‍රවීණයන් විසින් ආධුනිකයන්ට මඟපෙන්වන්නේ නම් , ගුරුහරුකම් ලබාදෙන්නේ නම් එය අගය කළ යුත්තකි. කිසියම් විෂය පථයක ඔබ ප්‍රවීණයෙක්ද, ආධුනිකයෙක්ද යන්න තීරණය වනුයේ ඔබේ වයසින් නම් නොවන බව කිව යුතුමය. ☺️ 

                 කෙනෙක් අලුතින් දෙයක් ආරම්භ කරද්දී, තමන්ගේ හැකියාවන් වැඩිදියුණු කරගන්න උත්සහ කරද්දී; 

            " එයාට ඕවා කරන්න පුලුවන්ද , එයා පොඩි මිනිහෙක්, ඕවා කරලා කාටද හරිගියේ, කැමැත්ත තිබුණට අඩුපාඩු කොච්චරද , ඔයා මනුස්සයට ඕක කරන්න බැහැ, අපිට පුලුවන් ඔයිට වඩා හොඳට ඒ දේ කරන්න....."   වගේ කතන්දර නම් ඕනෑතරම්ය. ඒ  මිනිසුන්ගේ හිත් තුළ නැඟෙන ඉරිසියාවේ, කුහකකමේ ප්‍රතිරූපයන්‍ ය. 😒😐 එය හෙමින් හෙමින් නැගිටින්න හදන කෙනාව පිටිපස්සෙන් ඇවිත් කකුලෙන් ඇදීමකී, පොළවටම තල්ලු කර දැමීමකි. ආරම්භයේදීම විශාල මානසික පරිහානියකට ලක්කර ආත්ම විශ්වාසය සුණුවිසුණු කර දැමීමකි.🙁 එය කිසිසේත්ම ප්‍රවීණයන්ට නොගැළපෙන්නකි. විවේචන අයිතිය තිබූ පමණින් , තවත් කෙනෙකුගේ හිත් රිදවීම මිනිසත්කමට නුසුදුසුය. තමන් ප්‍රවීණයෙක්‍ ය , ඉතාමත් දක්ෂය යැයි සිතා උදම් අනමින් , පුරාජේරු කියමින් තවත් පුද්ගලයකු  අවතක්සේරු කිරීම නොහොබිනා ක්‍රියාවකි. 



        ප්‍රවීණයන් විසින් ගුරුහරුකම් ලබාදෙන ස්වරූපය අනුව ; ආධුනික අයෙක්ට එම ශිල්පය එපා කරවන්නටත්,  නැත්නම්  ආසාවක් ඇතිකරන්නටත්  යන දෙකටම බලපෑම් එල්ල කළ හැකිබව ප්‍රවීණයන් විසින් වටහා ගත යුතුය.  😊

             ප්‍රවීණයෙක් ලෙස තමන් පැමිණි ගමන්මඟ තුළ අත්දැකීමෙන් උගත් පාඩම් නොමසුරුව තවත් අයෙක්ට කියාදියහැකිනම් එය සැබෑ ප්‍රවීණත්වයේ ගුණාංගයකි. ආධුනික අයෙකුට දුර ගමනක් යෑමට එය මහෝපකාරී වනු නියතය. එසේ නොමැතිව සෑමදෙයක් තුළම වැරැද්දක් දකිමින් , මිනිසුන් හෙළාදකිමින් ක්‍රියා කිරීම, තමන්ට වඩා ඉදිරියට පැමිණේ යැයි බියවී  කෙනෙකුගේ ගමන්මඟ අවුරාලීම නොකළයුත්තකි.



      එසේ කටයුතු කරන්නවුන් "ආධුනික ප්‍රවීණයන් " 😐 වන අතර සියල්ල ඉවසා නැවත නැවතත්  උත්සාහ කරමින් තම ආත්ම විශ්වාසයෙන් ඉදිරියට යන තැනැත්තා " ප්‍රවීණ ආධුනිකයෙක් " ☺️ බව කිය යුතුය. 



                  

පණ්ඩිත කෙල්ල 🤔😊

පණ්ඩිතයෙක් වුණාම ඒදණ්ඩේ යන්න බැහැයි කිව්වට , මෝඩයෙක් වුණොත් නම් ඉතින් කිසිම දෙයක් හරියට කරගන්න බැහැ. ඒ හින්දා මම නම් කියන්නේ , කෙල්ලෙක් උනාම චුට්ටක් විතර පණ්ඩිත වුණාට කමක් නැහැ කියලා. හැබැයි ඔන්න චුට්ටයි හොඳේ.😉 කොහොමටත් ඉතින් මහගොඩක් පණ්ඩිත වෙන එකත් ලේසි නෑ. මොකද අපි කාටහරි "පණ්ඩිතයා " කියන්නේ නක්කලේට වගේ වුණත් ඇත්තටම ගත්තොත් "පණ්ඩිත" කියන්නේ නම්බු නාමයක් වගේ එකක්. නියම පණ්ඩිතයෙක් වෙන එක එහෙම ලේසි පහසු වැඩක් නෙවෙයි ..ඒ වගේම ආවාට ගියාට හැමෝටම පණ්ඩිත වෙන්නත් බැහැ. ☺️☺️ 

               සමාජය මේ යන විදියට නම් අනවශ්‍ය කරදර දාගෙන, අමාරුවේ වැටෙන්නෙ නැතුව , ඒක ඇතුළේ හරි පරිස්සමට ඉහ ගහගෙන ඉන්න නම් කෙල්ලෙක්ට යම් තරමක පණ්ඩිතකමක් තියෙන්නම වෙනවා. දෙකට ගැනගන්න බැරි කෙල්ලෙක් නම් වසලා හමාරයි.😐 මම කියන්න හැදුවේ දෙකට ගැනගන්න බැහැ වගේ ඉඳගෙන, කරන්න තියෙන සේරම අලුගුත්තේරු වැඩ කරන කපටි අම්මණ්ඩිලා ගැන නම් නෙවෙයි. ඇත්තටම සමාජේ ගැන හරිහැටි අවබෝධයක් නැති, යන්නේ කොහෙද මල්ලේ පොල් ගානට ඉන්න සැබෑම අහිංසක ගෑනු දැරිවියෝ ගැනයි.  අන්න එහෙම අය නම් තමන්ගේ මතු ආරක්ෂාව පතා ටිකක් විතර පණ්ඩිත වෙන්න වෙනවා.😁 



           පණ්ඩිත වෙනවයි කියන්නේ ; තමන්ගේ දේටයි අනුන්ගේ දේටයි , ඕන එකටයි එපා එකටයි තැන නොතැන නැතුව පැනලා දෙන්න යන එකටවත්, දන්නේ නැති හැමදෙයක් ගැනම දන්නවා වගේ කටමැන දොඩවන්න යන එකටවත් නෙවෙයි. 😒😒

   ජීවිතේ අතරමඟ අපිට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න , ගැටළු නිරාකරණය කරගෙන ඉස්සරහට යන්න පුලුවන් තරමට පණ්ඩිත වුණාම හොඳටම ඇති. ☺️ ඉතින් අපිත් පොඩි ට්‍රයි එකක් දෙමු ඒ විදියට අවශ්‍ය තරමට චුට්ටක් පණ්ඩිත වෙන්න. ජීවිතේ ගැන දැනගන්න නම් ඉස්සෙල්ලම මිනිස්සු ගැන දැනගන්න ඕනේ. ඒ නිසා මිනිස්සු ආශ්‍රය කරන ගමන් ඒ අයව අධ්‍යයනය කරන්න ඕනේ, සියුම් ගතිගුණ පවා මඟ නොහැරෙන විදියට. 




           හොඳින් පොතපත කියවන්න ඕනේ. පොත් කිව්වාම ඉතින් ඔය ලොකු ලොකු විද්වත්තු, ප්‍රවීණ කතුවරයෝ ලියපු පොත් විතරක්ම නෙවෙයි .., ග්‍රන්ථකරණයට අද ඊයේ පය තියපු අයගේ පොත්වල පවා ජීවිතේට එකතු කරගන්න වටින දේවල් තියෙන්න පුලුවන්. වැඩපළත් පාඩුකරගෙන , බලන්න තියෙන සේරම හින්දි මෙගා ටිකයි, කොරියන් කතා ටිකයි බලලා, news යද්දී tv එක off කරලා දාන්නේ නැතුව,  tv එකේ radio එකේ වුණත් වැඩකට ඇති දෙයක් යනකොට පොඩ්ඩක් අහන්න බලන්න පුරුදු වෙන්න ඕනේ. Internet එකේ , fb එකේ පවා පැයගණන් කල් මරනකොට අනුන්ගෙ කුණු හොයන වෙලේ , තමන්ට වැදගත් වෙනදෙයක් හොයලා බලලා ඉගෙනගන්නත් වෙලාව වෙන්කරගන්න. මොකද අපි දන්නේ බොහොම ටිකයි, නොදන්න දේවල් බොහොමයි. ඉතින් හැමතිස්සෙම හොයන්න ;  රට ලෝකේ ගැන , ජීවිතේ ගැන, ජීවත් වෙන සමාජේ ගැන.. 🥹☺️ 

             අන්න එහෙමයි පණ්ඩිත වෙන්නේ..චුට්ටක් පණ්ඩිත වෙලා  , ගොඩක් ලස්සනට ජීවත් වෙන්න .




සරලවම කිව්වොත් " smart girl " කෙනෙක් වෙන්න☺️❤️

පාසල් කාලේ 🥹❤️

 "ජීවිතයේ ලස්සනම කාලේ මොකක්ද කියලා කවුරුහරි ඇහුවොත් , බොහෝවිට අපි හැමෝගෙම වගේ උත්තරය වෙන්නේ ඉස්කෝලේ ගියපු කාලේ කියලා. එහෙම නේද ? ☺️☺️ ඔයත් චුට්ටක් ඔයාගෙන් අහලා බලන්න , ඉස්කෝලේ කාලේට ආයෙත් යන්න කැමතිද කියලා. සැහැල්ලුවෙන් ගෙවුණු ඒ දවස් හරිම ලස්සනයි. සොඳුරු මතක ගොන්නක් අපි හැමෝගෙම හිත්වල ඉතුරුවෙලා ඇති. වෙරළට ඇවිත් යන මුහුදු රළ වගේ , ඒ ලස්සන කාලේ ගෙවිලා ගියත් සතුට පිරුණු මතකයන් තාමත් හරි පරිස්සමට අපි ළඟ තියෙනවා" 🥹❤️

මේ ලියන්න යන්නේ , මගේ පාසල් කාලයේ කතාව ගැන පුංචි මතක සටහනක් . ඔයාගේ පාසල් කාලෙත් මේ වගේද කියලා බලන්න , මේ සටහන කියවන්න මං ආරාධනා කරනවා☺️🤗







පුංචි හිතක අකුරු ලියන්න තිබුණු ආසාවට , නුහුරු නුපුරුදු සුදු ගවුමක් ඇඳගෙන දම් , රන් , රතු ටයිපටියක් දාගෙන , මහවිශාල යකඩ ගේට්ටුවක් අතරින් ඇතුළට ඇවිත් , අවුරුදු ගාණක ඉතිහාසයක් පෙන්වන කහ ගැහැච්ච building අතරේ අම්මා අප්පච්චි අතේ එල්ලිලා ඇවිදපු , පාසල් ආව මුල් දවස අද වගේ මතකයි🥹 


              ඉස්කෝලේ ගේට්ටුවෙන් ඇතුල් වෙලා මාරගස් සෙවණේ ටිකදුරක් ඇවිදන් එද්දී , රතුපාට මල් පිරුණු මල් රවුම ඉස්සරහ දෙකේ පන්තියේ අක්කලා පේළී  ගැහිලා බලන්හිටියා අපිව පිළිගන්න, මලකුත් අතේ තියාගෙන.❤️🌸 ඒ හරියටම 2006 අවුරුද්දේ . එතනින් ඇරඹුණු පාසල් ගමන පුරා වසර 13 ක් ගෙවීගියේ ආදරණීය වේල්ස් කුමරි මව් තුරුලේ 🥹❤️ 

" හදවත නුඹටම බැඳෙනා -ගෞරව අභිමන් මැවෙනා සෙනෙහේ උරුමේ දැනෙනා - වේල්ස් කුමරි මව්නී."



පාසල් කාලේ දඟවැඩවල නම් අඩුවක් තිබ්බේ නෑ පොඩ්ඩක්වත්.interval එකට යාළුවෝ එක්ක පිට්ටනිය පුරා දුවමින් සෙල්ලම් කරපු හැටි, පරක්කු වෙලා ඉස්කෝලේ ගිහින් තණකොළ ගලවන්න උනාම, උදෑසන රැස්වීමට පරක්කු උනොත් එහෙම අව්වේ පිට්ටනියේ දණගහගෙන හිටපු හැටි, ඉස්කෝලේ අඹ ගස්වල නෙල්ලි ගස්වල ගෙඩි හැදෙන කාලෙට හොරෙන්ම ඒවායේ රස බලපු විදිය, මේ දේවල් මතක් කරද්දී මුවඟට සිනහවක් එන්නේ අපිටත් නොදැනිමයි ☺️🤗 ටීචර් කෙනෙක්ට කොළොප්පම් කරන්න ගිහින් දඬුවම් ලබලා පන්තියෙන් එළියට දැම්මාම ඒකෙත් තිබුණා අමුතු රසයක්. Washroom එකක කාලේ ගතකරලා ඉඩක් තිබුණොතින් විතරක් ඉගෙන ගන්න පන්තියට ගියපු කාලයක් අපිටත් තිබුණා.  එක බත් මුළක් වටේ මුළු පන්තියම රංචු ගැහිලා වැඩිකොටසක් කන්න පොර අල්ලපු හැටි , ඒ විතරක්ද වැහි කාලේට  තමයි ඉස්කොලේ යන්න ආසම. ජනෙල් කවුළු වලින් වැහිහිරිකඩ ඇතුළට එද්දී  සීතලේ ගැහෙමින් සිංදු කිව්ව හැටි,  හයියෙන් අකුණු ගහමින් වහිනකොට යාළුවෝ එක්ක දෙවනත් වෙන්න හූ තියපු හැටි ... මේ හැමදෙයක්ම සතුට පිරුණු මතක ගොන්නක්. මතක්වෙද්දිත් ඇස්දෙක කඳුලින් බරවෙන 🥹❤️ 



 ඒ ලස්සන පාසල් කාලේ අපිටත් නොදැනිම ඉක්මනින්ම අවසන් වෙලා. ඉස්සර වගේ සුදු ගවුම ඇඳන් පාසල් ගිහින් පිටිපස්සේ පෙළියේ මගේ පුරුදු තැන ඉඳගෙන , ටීචර් උගන්නන පාඩම් අහන් ඉන්න තිබුණා නම්  කියලා හිතුණත් අපිට ආයේම ඒ කාලේට යන්න බෑ.  පරණ පුරුදු විදියට යාළුවෝ එක්ක  , අපිට උරුම අපේ තැන , අපිව ගොඩනඟපු තැන , හොඳ නරක ගුණදම් කියාදුන්නු අපේ පාසල තුළ අපිට දැන් ඉන්න අවසර නැහැ.  මතු පරපුරකට අකුරු කියාදෙන්න පාසල් මව්තුමිය ඒ ඉඩහසර අපෙන් ඈත්කරලා. 🥹❤️ 

 හිතේ පුරවගත්ත ලොකු ගෞරවයක් එක්ක පාසල් මව්තුරුලට සමුදුන්නත්,  ඒ බැඳීම හැමදාමත් අපිව ජීවත් කරනවා. පාසලෙන් ලද පන්නරයට දිවි ඇතිතෙක් ණයගැතියි අපි හැමොම🥹🙏 

"සුවඳ , සුළඟේ ගහගෙන යන්න ගියත් ; ඒ මතක  සුවඳට අපි හැමදාමත් ආදරෙයි "❤️ 



නුඹ කොහේ සැඟවුණිද

හිරිමල් පාසල් විය

සතුට ඉහිරුණු සිත්තමකි

නෙතුඅග කඳුලු තවරා

ශේෂ වූ මතකයේ සුළංරැළි 

වේගයෙන් හමායයි 


සිහිගන්වා සොඳුරු මතක

ජීවිත පින්තාරුව 

පාට සායමෙන් හැඩකරන්නට

දිරියෙන් නැගිටිමු

කළුවර අහසට පෑයූ 

මන්දාරම් තරුවක් විලසට ❤️⭐ 


 



 



Friday, 23 August 2024

Friendship මිතුදම් ❤️


A strong friendship doesn't need daily conversation , doesn't always need togetherness . As long as the relationship lives in the heart , true friends will never part.☺️❤️ 

" Friendship is like a rainbow 🌈 between two hearts ,
Sharing seven colours ; 
      secrets , truth , sadness , faith , 
    happiness , respect & love ". 😍❤





ජීවිතයේ ලස්සන , සුන්දර දවස් වගේම 
එහෙම නැති  දවස් වලටත් මුහුණ දෙන්න අපි හැමෝටම සිද්දවෙනවා. ඒක තමයි මේ ජීවිතයේ ස්වභාවය .
අපිට, අපිවත් එපාවෙලා කඩාවැටුණු වෙලාවලදී , ඇස් පුපුරු ගහන තරමට අඬන්න හිතුණ වෙලාවලදී , අපිට අවැසිම මොහොතේ මඟනොහැර ළඟ රැඳි මිතුදම් සුරකින හදවතේ මිතුරන් වෙනුවෙන් මා තබනා පුංචි සටහනකි..🥹❤️


"මහමෙරක් උසට
හිත අස්සේ පෙළගැහුණු
අනන්තවත් සිහින
ඈත්ව යන්නේ
 හුදකලාව 
මා වෙළාගනිමිනි..
දිවි විසල් කතරේ 
සෙවණැල්ල සේ ලඟරැඳි
මට මගේ කියා ළඟඋන් 
සැබෑම මිතුරනි
කෙදිනක හෝ යළි හමුවෙමු
පුරුදු ළබැඳියාවෙන් 
සිනහවෙන්නට...
 නැවුම් බලාපොරොත්තු 
හසරැළි නංවා, 
වසන්තයේ අරුණලු 
පූදීන්නට 
සුභ පතන්නෙමි 
සිත්ඉමේ සෙනෙහසින්..."



  

Saturday, 4 November 2023

CREATIVE ART


 CREATIVE ART


සංගීතය, නාට්‍ය නාට්‍ය සහ දෘශ්‍ය කලා වැනි කලාත්මක කටයුතු ළමයින් නිර්මාණශීලිත්වය අවබෝධ කර ගන්නේ කෙසේද සහ ඔවුන්ගේම අනන්‍යතාවය පිළිබඳ හැඟීම වර්ධනය කිරීමට දායක වේ. මෙම ක්ෂේත්රයේ ජනප්රිය න්යායන් යෝජනා කරන්නේ දරුවන්ගේ කලාත්මක හැකියාවන් බොහෝ විට අවතක්සේරු කර ඇති බවයි; සහ කලාත්මක පරිචය සහ නිර්මාණාත්මක චින්තනය ගවේෂණය කිරීමට අවස්ථාවන් ලබා දෙන විට, විද්‍යාව සහ ගණිතය වැනි අනෙකුත් විෂයයන් සඳහා සාමාන්‍යයෙන් වඩා ප්‍රබල ප්‍රතිඵල ලබා දෙන බව. මුල් ළමාවියේදී කලා කටයුතු සඳහා විනාඩියක් ගත කරන්න. විවිධ කලාකරුවන් සහ ඔවුන් භාවිතා කරන ශිල්පීය ක්‍රමවලින් ආභාෂය ලබන්න. සංගීතය හැඩගස්වන ආකාරය සහ මොළයේ වර්ධනය උත්තේජනය කරන ආකාරය නිසා එය ආශ්වාදජනක වන්නේ කෙසේදැයි සලකා බැලීමට යම් කාලයක් ගත කරන්න. කලාව, එය නිර්මාණාත්මක ප්‍රකාශනය සක්‍රීය කරන්නේ කෙසේද සහ කලා අධ්‍යාපනය කාවැද්දීම මගින් අධ්‍යාපනඥයින්ට විවේචනාත්මක සහ පරාවර්තක පරිචයේ යෙදීමට සහාය විය හැකි ආකාරය ගැන මෙනෙහි කරන්න

Feelings 😊😁🥲🥹😒😡

මිනිස්සු කියන්නේ හැඟීම් දැනීම් වලින් පිරුණු පිරිසක්. සංවේදී එහෙමත් නැත්නම් අතිසංවේදී විදියට අපි අතර ලේබල් ගැහිච්ච මිනිස්සු විතරක් නෙවෙයි , ප...